විමුක්ති ජයසුන්දරලාගේ, අශෝක හඳගමලාගේ පරම්පරාවේ අලුත්ම අනුප්‍රාප්තිකයා වන්නේ සංජීව පුෂ්‍පකුමාරය. මක්නිසාද යත් අශෝකලා මෙන් විමුක්තිලා මෙන් ඔහුත් ඇත්ත කතා කළ නිසාය. එසේ ඇත්ත කතා කළ නිසා ඔහුට සිදු වූයේ සිය ඉගිලෙන මාළුවෝ නම් සිනමා නිර්මාණය රසික ජනතාව අතරට ගෙන යාමෙන් වැළකී සිටීමට හෙවත් එම චිත්‍රපටය මෙරට තුළ වාරණයට ලක්කර ගැනීමටය.
සංජීව පුෂ්‍පකුමාර සිය ඉගිලෙන මාළුවෝ නම් සිනමා ආඛ්‍යානය තුළින් සාකච්ඡා කිරීමට උත්සාහ කොට තිබුණේ හමුදාවක් ගමක ස්ථානගත කිරීම නිසා සිදුවන සමාජීය බලපෑම් විවරණයට ලක්කිරීමය. එහිදී ඇත්ත නොසඟවා එය සත්‍ය ලෙසින්ම ඉදිරිපත් කිරීමට සංජීව පුෂ්‍පකුමාර දැරූ උත්සහය මෙකී සිනමා නිර්‍මාණය මෙරට තුළ වාරණය වීමට බලපා ඇති මූලිකම හේතුවයි. එහිදී මූලිකවම මෙම චිත්‍රපටය තුළින් හමුදාවට අපහාසයක් සිදුවුණාය යන අර්ථයෙන් මෙය වාරණයට ලක්වී තිබේ. කෙසේ නමුත් මෙය පසුපස ඇත්තේ නූතන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙලේ අරමුණු සාධනය කිරීම බව මෙහි යථාර්ථය විමසා බලන ඕනෑම කෙනෙකුට පෙනේ.
වසර තිහක කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ අපි තවමත් පශ්චාත් යුද මානසිකත්වයක පසුවෙමු. එහිදී යුද්ධයේ අවසන් සමය තුළ එය හුදු යුද ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමෙන් පමණක් නොනැවතී එයට දේශපාලන ස්වරූපයක්ද ඈඳීමට ආණ්ඩුව කටයුතු කළේය. යුද්ධය ජයග්‍රහණය කළේ හමුදා සෙබළුන්ගේ කැපවීම හා උත්සහය මත බව අමතක වී යන තරමට මෙකී ආණ්ඩුව යුද්ධය සිය දේශපාලනය තුළට ඈඳාගෙන තිබේ.මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කියා පෑවේ යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය නිසා පමණක් බවය. යුද්ධයට මහින්ද රාජපක්ෂ සිය නායකත්වය දුන් බව පැවසීම වැරැද්දක් නොවේ. නමුත් වැරැද්ද ඇත්තේ එය සිය දේශපාලන ගමන් මඟ පවත්වාගෙන යාම සදහා දිගින් දිගටම උපක්‍රමයක් ලෙස භාවිතා කිරීමයි.
මෙලෙස තමන් නිසා යුද්ධය ජයග්‍රහණය කළ බව පැවසීම හෝ සිය වන්දිභට්ටයන් ලවා එය නිතර නිතර සුගායනා කරවීම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව දිගින් දිගටම ජනතා ආශිර්වාදය සහිතව පවත්වාගෙන යාම සදහා ඔවුන් විසින් භාවිතා කරන සෙත් කවියයි. ඔවුන් මෙම සෙත් කවිය ගායනා කරන්නේ පශ්චාත් යුද මානසිකත්වයක පසුවන මෙරට වැසියන්ගේ සිත් වලට එය තවමත් සංවේදී කාරණයක් වන නිසාය. නමුත් සංජීව පුෂ්‍පකුමාරගේ ඉගිලෙන මාළුවෝ නම් සිනමා ආඛ්‍යානය තුළින් හමුදා සෙබලාගේ ඇත්ත මානසිකත්වය විග්‍රහයට ලක්කිරීම එකී සෙත් කවියට වස් වැදීමකි. මෙම වස් වැදීම සිදුවූයේ හුදෙක් හමුදාවට පමණක්ම නම් ආණ්ඩුවට එය නොසලකා හැර ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය රට තුළ ප්‍රදර්ශනය කරන්නට අවසර ලබා දෙන්නට තිබුණි. නමුත් හමුදාවට පහර වැදීම යනු වක්‍රාකාරයෙන් ආණ්ඩුවේ ඡන්ද පෙට්ටියටද එල්ල වන පහරක් නිසා ආණ්ඩුව හමුදාවේ ගෞරවය හා වෙනත් නොවැදගත් හේතු දක්වමින් මෙම චිත්‍රපටය වාරණයට ලක් කොට තිබේ.
ඕනෑම කලාකරුවෙක්ට මෙන්ම ඕනෑම පුරවැසියෙක්ට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. එය සංජීව පුෂ්‍පකුමාරටත් පොදුය. නමුත් ආණ්ඩුව විසින් සිදුකර ඇත්තේ එකී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීමකි. නැතහොත් කලාකරුවෙක්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙක්ට හිමිවන්නා වූ අයිතිය කප්පාදු කිරීමකි. මෙහිදී විද්‍යාමාන වන වැදගත් දෙයක් තිබේ. එනම් ආණ්ඩුවේ මතයට පක්ෂ වන්නා වූ කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට පමණක් ආණ්ඩුව කටයුතු කරන බවයි. එසේ නොවන නිර්මාණ වාරණයට ලක්කිරීමට ආණ්ඩුව කටයුතු කරයි. මෙම තත්වය රටක් තුළ ස්වාධීන මතයක් ඇතිවීමට බාධාවකි.
සංජීව පුෂ්‍පකුමාරගේ ඉගිලෙන මාළුවෝ වාරණය වීමට බලපෑ කරුණ වූයේ ආණ්ඩුවේ මූලික මතයට පහර වැදීම බව මෙහිදී පැහැදිලිය. රණවිරු රියල් ස්ටාර් වැනි වැඩසටහන් හරහා රණවිරුවාගේ තත්වය ඔහුට හිමිවිය යුතු සමාජීය පිළිගැනීම ලබාදීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අවධියක මෙකී රණවිරුවාගේ ඇත්ත තත්වය හෙළිදරව් වීම ආණ්ඩුවේ එම වැඩපිළිවෙළට බාධාවකි. එසේම රණවිරුවා විවේචනය වීම තුළ යුද්ධය ඡන්දයේදී භාවිතා කරන්නට ඇති අවස්ථා අහිමි වී යයි. එනිසා එකී විවේචනය තුළින් ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැගීම වළක්වා ගැනීමත් මෙම වාරණයට හේතු වන්නට ඇත.
හමුදාවක් කිවූ සැනිණ් අපගේ මනසට එන්නේ නූගතුන් පිරි ස්ථානයක් ලෙසටය. මන්දයත් හමුදාවට බැදීම සඳහා වුවමනා වන්නේ 8 ශ්‍රේණිය සමත් කිරීම පමණක් වන බැවිනි. නමුත් හමුදාව තුළ උගතුන් නොසිටිනවාය කියා මෙයින් අදහස් නොවේ. මන්දයත් නූගතුන් බහුතරයක් සිටින ස්ථානයක සිටින උගතුන්ටත් නූගතුන්ට අලවන ලේබලයම ඇලවෙන නිසාත් එකී උගත් සුළු පිරිසත් හමුදාව තුළදී නූගතුන්ගේ මානසිකත්වයට පත්වන නිසාත්ය. මෙකී නූගත් පිරිස අතට තුවක්කුවක් දී එක ඉලක්කයක් කරා මෙහෙය වීම ඉතා පහසුය. මක්නිසාද යත් ඔවුන් තුළ තර්කන බුද්ධියක් නොමැති බැවිනි. නමුත් එම තුවක්කුව ලබා දුන්නේ විශ්වවිද්‍යාල උපාධිදාරියෙක් අතට නම් එම තුවක්කුව භාවිතා කරන වාරයක් පාසා එය සබුද්ධිකව හැසිරවීමට උත්සාහ කරයි. එබැවින් නූගතුන් හමුදාවට බඳවා ගැනීම හමුදාවේ පැවැත්මට ඉතා වාසිදායකය.
මෙලෙස නූගතුන් උගතුන්ට වඩා හැඟීම් වලට වහල්ව කටයුතු කරන බවක් දක්නට ලැබේ. එනිසාම නීත්‍යානුකූල බිරිඳට පමණක් සීමා නොවී තරුණියන් රැසකගේ පහස ලැබීමට හමුදා භටයා යොමුවීම පිලිබඳ ප්‍රායෝගික නිදසුන් ඕනෑ තරම් තිබේ. සංජීව පුෂ්‍පකුමාරගේ ඉගිලෙන මාළුවෝ තුළ එන එක් දර්ශනයකද මේ බව හොඳින් ඔප්පු වී තිබේ. ගමේ තරුණියක් හා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා එක් හමුදා භටයෙක් ඇය හා එළිමහනේ ලිංගික සංසර්ගයේ යෙදෙයි. එළිමහනේ ලිංගික සංසර්ගයේ යෙදීම පිලිබඳව නොව නිවසක් තුළ සිදුකරන ලිංගික සංසර්ගය ගැන පවා අප සංස්කෘතියේ ඇත්තේ අතිශය රහස්‍ය තත්වයකි. එම සංස්කෘතික සාධක පවා නොසලකා හරිමින් සිය ආශාවන් පමණක් මුදුන් පමුණුවා ගැනීමට හමුදා භටයා කටයුතු කරන්නේ සිය නූගත් බව සහ හැඟීම් වලට දක්වන වහල් බව මනාවට ප්‍රදර්ශනය කරමිනි. මෙය යුද භටයාගේ සැබෑ තත්වය බව වටහා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ එය සත්‍ය බව ඔවුන් විසින් නොදන්නා නිසා නොව එම තත්වය ජනතාව හමුවේ නිරුවත් වේවි යැයි කියා ඔවුන් තුළ වන්නා වූ බිය නිසාය. සංජීව පුෂ්‍පකුමාර පවසන්නේ ඔහු මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ සිය අත්දැකීම් ඇසුරින් වන බවයි. එය මෙම චිත්‍රපටයේ අඩංගු වන දෑ සත්‍ය බව ඔප්පු කිරීමට ඇති හොඳම සාක්ෂියයි. එම යථාර්ථය ඉගිලෙන්නට පෙර තටු කපා දැමූ ආණ්ඩුව දැන් උත්සාහ කරමින් ඉන්නේ සිරිපැරකුම් වැනි ආණ්ඩුවට හිතවාදී නිර්මාණ පමණක් ජනතාවට පෙන්වීමටයි.
No comments:
Post a Comment