කවි

හයිකු කවිය - 3
නිසල සිත ළඟ
සසල සිතුවිල්ලකි නුඹ....
----------------------------------------------------------------------------------------------------------------
හයිකු කවිය - 2
සමනළ තටුවක් සේ
සැහැල්ලු වූ මගෙ දිවිය
උදුරා ගත්තේ
ඇයිද කඳුළ නුඹ......
----------------------------------------------------------------------------------------------------------------
හයිකු කවිය - 1
කවියක් විය නුඹ මට
අකුරක්වත් නැති මගෙ ජීවිතයට.....
----------------------------------------------------------------------------------------------------------------
අප පෙම්වතුන් වී
ගෙවෙන මුල් ආදර දිනේ...
ගෙනෙමි ආදර සුබ පැතුම්.....
මගේ පෙම්වතියේ.....

ආදරේ සරසවියේ..
මා ලැබූ ඉහළම උපාධිය
නුඹයි පෙම්වතියේ...
ජීවිතේ දුරු කතරේ...
පිපි සුපෙම් කුසුම
නුඹයි පෙම්වතියේ....

අහම්බෙන් හමුවී
මට පිදූ නුඹෙ අමිල සෙනෙහස
සදාකල් මට
වටිනවා සොඳුරේ.........
-----------------------------------------------------------------------------------------
වසන්තයෙ සඳ ගිලී
හඬන හද සිතුවිලී
අපට අප හිමි නැතී
නුඹ කොහෙද හිතවතී

ගෙවෙන මොහොතක් ඇසිල්ලේ
නුඹ ගැනම සිත තැවිල්ලේ
උන්නු හැටි අපි තුරුල්ලේ
නුඹට මතකද කිරිල්ලී

ලැබුණු සුන්දර සෙනෙහසේ
මතක සිත රිදවයි රහසේ
දැනුණු සුව මගෙ උරහිසේ
නුඹට මතකද හිතවතී
-----------------------------------------------------------------------------------------
මේ නුවර හැම තැන අපෙ මතක පිරිලා
අපි ගියපු තැන් වල නුඹෙ සුවඳ රැඳිලා
දුක කියන්නටවත් නුඹ ළඟ නැති හින්දා
දැනෙන පාළුව මා.... රහසේම වින්දා

පැතූ රුව හදවතට ගුලිකර
ගෙවුණු යුගයත් නදකි සත්සර
අපි හමුවුණු උයනට යනෙන මග
තවම නුඹ ඇති කියා සිතෙනවා
මා මෙහි එන හැම වර....

අපෙ සෙවණැලි හිනැහුණු මාවත් වල
ඡායාවක්වත් අද දක්නට නැත
නමුදු එමග තනිවම මා යන විට
කොහෙදි හෝ නුඹෙ රුව දකිනු ඇත කියා සිතෙනවා
මා මෙහි එන හැම වර....
-----------------------------------------------------------------------------------------
වසන්තේ අග පිපුණු කුසුමක
සුවඳ තැවරූ
අරුම සෙනෙහෙද මේ......
ජීවිතේ මග කියාදෙන්නට
ළයට ළංවූ
අරුම සෙනෙහෙද මේ......

දිනෙක ගිම්හානේ
තුරුගොමු අතරේ
ළැමට තදකර දෙතොල් රස දී
නුරා ගිනි ඇවිළූ
අරුම සෙනෙහෙද මේ......

සිහින මල් උයනේ
මල්ගොමු අතරේ
තුරුළු කරගෙන කනට ළංවී
ජීවිතය මැතිරූ
අරුම සෙනෙහෙද මේ......
-----------------------------------------------------------------------------------------
අප නැතත් වසන්තය පුරුදු ලෙස පැමිණේවි 
අප අපේ නොවන වග කිසිවෙකුට නොදැනේවි
ග්‍රීෂ්මයෙ ළංව හිඳ වින්ද සුව නොමැකේවි
සරා සඳ ලෙසින්වත් එන්න මගෙ සඳසාවි

හිතට දුක දැනෙනවා මහමෙරුව  තරමට
හඬන්නට හැකිය මට ගං දෝර ගලන්නට
එක්වෙන්න නොහැකි නම් උපන් මේ අහස යට
බිඳුණු පෙම් මතක ඇති පණ සිඳෙන තුරාවට

තැන් දෙකක ඉපදී අහඹු ලෙස හමුවී
මතකයිද දොඩමළුව උන්නු හැටි තනිවී
නුඹ මගේ කරගන්න නොහැකි නම් හිනැහී
ගලන මේ කඳුළු ඇති කොපුල් මත දියවී
-----------------------------------------------------------------------------------------
වස්සාන සුළඟත්
හරිම දඩබ්බරයි....
හරියට
නුඹ මා ළංව උන් කල
මා නුඹෙන්
ආදරය සෙවූ හැටි වගෙයි...
ඒත් දැන්
වස්සාන සුළඟත්
හරිම දුක්බරයි....
හරියට
නුඹ මගෙන් වෙන්ව ගිය කල මා නුඹේ
උණුහුම සෙවූ හැටි වගෙයි...
-----------------------------------------------------------------------------------------මතක අතරින් දුරක් ගිහින් සිතක ඔබ රැඳිලා
නෙතක කඳුළු සේ මගෙ හිත ඇතුලටම වෙලා
දිනක වෙන්වී යනතුරු සදහට දෙපසකට වෙලා
හිඳිමු ළංවී තව ටිකක් තුරුලටම වෙලා

වසන්තේ මල් පිපුණත් නෙලන්නට අවසර නෑ
නුඹේ සෙනෙහස ලැබුණත් විඳින්නට අවසර නෑ
නෙතට කඳුළැලි ආවත්හඬන්නට අවසර නෑ
ජිවිතේ ඔබ හිමි නෑ සිත හදාගන්නම් මා....

සිපගන්න රහසේවත්දෙතොල් එක්වෙන්නෑ
ලැබගන්න මේ උණුහුම යළි අපි හමුවෙයිද දන්නෙ නෑ 
ළඟ ඉන්න හැමදාමත් මට අවසර නෑ
ජිවිතේ ඔබ හිමි නෑ සිත හදාගන්නම් මා....
-----------------------------------------------------------------------------------------
යන්නම යාවී සැඟවිලා 
දිනයක මගෙ නෙතු  හඬවලා
හිත මත හීන අතුරලා
යන්නම යයි ඔබ සැඟවිලා

මහමෙරක් තරම් ආදරේ 
හිත ඇතුළේ  තදකරන් 
යන්න අවසර දෙන්නම් 
දුක පපුවේ හිරකරන්... 

පපුතුරේ හුස්ම සේ ළංවී 
උන්නු කාලය අවසන් නම් 
මතක පත් ඉරු ඉරා දමා 
යන්න අවසර දෙන්නම්...
-----------------------------------------------------------------------------------------
නිස්සාර වදනක්ද පෑ ළබැඳිකම නුඹේ 
ඇස් ගාව නවතින්න කිසි දිනක බැහැ වගේ
වස්සාන සිහිනයම කිමද නුඹ බොඳ කළේ
නොකියාම වෙන්වෙන්න ඇයිද අපි ලං වුණේ

කිසි දිනක සැබෑවට දැක නැතත් නුඹේ රුව
මෙතරම්ය කිව නොහැක නුඹෙන් විඳි සෙනේහය
ළඟ ඉන්න බැරි වුවත් මේ දිවිය පුරාවට
නුඹම විය පිනි සිසිල මගෙ සිහින ඉඩෝරෙට
-----------------------------------------------------------------------------------------
සයොනාරා කිය කිය සමුදී 
යන්නේ කෙලෙසද මා වෙන්වී 
සකුරාමල් කුමරියේ.....
එනමුත් යන්නට වෙනවා 
යළිත් නොඑන්ටම 
නුඹගේ පෙම අතහැර...

ජපන් රටේ සුදු හිම කැට යට 
සඟවා පෙම් කළ සිත නුඹ හට 
මළවුන්ගේ දවසට මං එන්නට යන්නම් 
සකුරාමල් කුමරියේ.....
තව එක සැරයක් එන්න 
ඔය ඇස් දෙක දිහා බලන් ඉන්නට දෙන්න... 

පූජියාමා කන්දේ අළු වගේ 
පිච්චී අළුවුණු මතකය මගේ 
එක්වෙන්නට බැරි වුනාට තරහක් නෑ සිතේ 
සකුරාමල් කුමරියේ.....
තව එක සැරයක් එන්න 
අපි හමුවුණු අවන්හලේ කෝපි බොන්න යන්න...
-----------------------------------------------------------------------------------------
හැඟුම් විකසිත වන තරම්
නුඹම සිත සොයනා තරම්
වසන්තේ යළි එන්නෙ නැතුවත්
ඔබ ගැනම සිතනා තරම්
මා ඔබ ගැනම සිතනා තරම්....

හීන මල් පෙති බිම වැටී
නුඹෙ පයට පොඩිවී තැලුනා
ඒ මල් පෙති සේ මගෙ පැතුම්
තළා පොඩිකර නුඹ ගියා...

සිනා සලනා නුඹෙ දෙතොල්
ආයෙ මට හිමි නැතිදෝ දැනුණා
එදා ලංවී උන්නු කාලේ
ආයෙ එන්නේ නැතිදෝ සිතුණා...
-----------------------------------------------------------------------------------------
ලොවටම රහසින් ඔබ ළඟ රැඳි සිත
සඟවාගෙන ඉන්නම්...
කවදා හෝ අපි සමුගන්නා දා
එය මම පවසන්නම්...

සිප් ලැබ ගන්නට ගුරුගෙදරට ආ
මනමේ කුමරු මමයි...
එය නිමවනදා ඔබ හැර යන්නට
වූවොත් සිතට දුකයි...

පෙර මෙන් කිසිවෙක් දැන් මා ළඟ නැත
ඉන්නේ ඔබ පමණයි...
ඔබ දැකගන්නා දිනය උදාවෙනතුරු මා ඇඟිලි ගනියි...
-----------------------------------------------------------------------------------------
හදවතට දැනෙනා සොඳුරුතම වදනින්
නුඹට පෙම් කළ අරුමෙ මම ලියමි කවියෙන්
සැලි සැලී කඳුළු රූරා වැටෙයි දෙකොපුලෙන්
එයයි මගෙ ආදරය මා අත්වින්ද ජීවිතෙන්...

ආදරෙන් වැළඳගෙන තුරුලේම රන්දා
රස පිරුණු නුඹෙ දෙතොල් යළි යළිත් සිම්බා
ගෙවුණු ඒ අතීතය මතකයෙන් සඟවා
ඉන්න සැමදා නුඹට හැකිවේද මන්දා...

දිනාගත් ආදරය මා වෙතට අහිමි කළ
ගෙවීගිය කාලයත් සාපයකි සදා මට
යළිත් කෙදිනකදි හෝ ලැබෙයි නම් නුඹේ පෙම
එයයි මේ ජිවිතේ මා විඳින එකම සුව.....
-----------------------------------------------------------------------------------------
නුඹ මා හැර යයි කියා
දැනුනානම් මට....
නොදෙමි යන්නට බිඳුවක්වත්
නුඹට මවෙතින් දුරට...

ලොව එළිය කළ නොහැකි මුත් හිරුට සේ සඳුට
සඳු නොමැති රාත්‍රිය මළගමකි තරු කැලට....
පාළුයි මගේ ලොව කිව නොහැකි තරමට
නුඹ සුපුන් සඳක් විය ඔහුගෙ හද කුටියට

තැවි තැවී විඳිමි දුක මා දැවෙන ගිනි මැද
කියනු මැන ප්‍රේමිය.... මා නුඹට කළ වරද කිම.....?
-----------------------------------------------------------------------------------------
ජීවිතේ වසන්තය මා කරා රැගෙනවිත්
නොසිතූ මොහොතකදි එය මා වෙතින් උදුරගත්
සදා නුඹ මගෙ කියා ආදරෙන් වැළඳගත්
නුඹයි මගෙ පෙම් කවිය මා වෙහෙස වී ලියාගත්.......
-----------------------------------------------------------------------------------------
ආදරේ කඳුළින් මගෙ දෙනුවන් පිරිලා
වියෝ ගිනිදැල් වලින් මගෙ හදවත දැවිලා
ජීවිතේ මාවතේ ඔබගේ අත අල්ලා
යන්න දවසක් ආයේ අපිට උදාවේවිද මන්දා

හැඟුම් රිදුම් දෙන තරම් පපුව පැළෙන්න
ලැගුම් ගත්ත පෙම් පැතුම් මා හැර යාවි ඈතට
දැනෙනා දුක් සුසුම් මට බැහැ තව ඉවසන්න
සිහිනයෙන්වත් රත්තරන් ඇවිදින් යන්නට එන්න

මා සිපගත් නුඹෙ දෙතොල් යළි සිපගන්න
ආදරයෙන් තුරුළුකරන් උණුහුම දෙන්න
ආයෙත් දවසක් නොඒවි ඒ විලස හිඳින්න
සිහිනයෙන්වත් රත්තරන් ඇවිදින් යන්නට එන්න
-----------------------------------------------------------------------------------------
යළිත් හමුනොවේවා අප
අහම්බෙන්වත් මේ අහස යට
වෙන්ව ගිය සේ මගෙන් දුරකට
වෙන්ව යනු මැන මගෙන් සදහට

අපේ හෙට ගැන සිතා මං කළ හැමදේම ගැන නුඹ දනී
ඒත් ඒ හැම දමා නුඹ ගිය නිසා මගෙ හද ගිනිගනී
ඇතත් නුඹ දිවුරා දිනෙක ඉන්නා බවට මගෙ බිරිඳ වී
දුකත් කඳුළුත් පමණි අද නුඹගේ නමට මා හට හිමී

පෙර දිනක නුඹෙ අත දරා ඇවිදන් ගියපු මල් මාවතේ
අදත් මල් සුපිපේවි නුඹ පිළිගන්න ඉස්සර වගේ
නැතත් මා හට පින් මියෙනතුරු ඉන්න ළඟ නුඹේ
පතමි නිදුකින් ගෙවේවා නවතිනතුරා නුඹෙ ජීවිතේ
-----------------------------------------------------------------------------------------
ලස්සන ඇස් ගැන රහසක් කියන්නටතව
 එක වතාවක් නුඹ හමුවෙන්න ඇත්නම්
ජීවීතේ හිස් බව මොහොතින් මකන්නට
අයෙත් නුඹට මට ලං වෙන්ට හැකිනම්

ආදරේ කවි පෙළකි සොඳුරු කවියෙකුට නම්
ආදරේ ගීතයකි ගී ලියන්නෙකුට නම්
ආදරේ විරහවකි ආදරය අහිමි නම්
ආදරේ සිහිනයකි රාත්‍රිය ඔයා නම්

ඉස්සර වගේ ඇවිත් යළිත් හුරු පුරුදු ලෙස
ජීවිතය මුමුණන්න දෙතොල්පෙති කනට කොට
ලෑමේ හුස්මක පහස හදවතින් විඳගන්න
උදුර ගත් මගෙ සතුට ආයෙමත් මට දෙන්න
-----------------------------------------------------------------------------------------
සීත වැහි පිනි බිංදු අහසින් වැටෙද්දී
ආදරෙන් නුඹ මගේ ගතේ දැවටෙද්දී
උණුහුමට ලං කරන් තුරුලේම ඉද්දී
දැනුණාද ආදරය දෙතොල් සිපගද්දී

හාත්පස අඳුරු වූ තෙතබරිත සැදෑවක
සොඳුරු තුරුලතා පිරි විසල් උද්‍යානෙක
ප්‍රේමයෙන් වෙලී නුඹ උන්නු හැටි මා එක්ක
හැබෑවක් විය පැතුම් මෙමා දුටු සිහිනයක

වචනයෙන් කිව නොහැකි තරම් වූ ආදරය
විඳගතිමි උපරිමෙන් නුඹට දී ජීවිතය
සොඳුරු හැඟුමන් හදට තුරුළු කර දුන් සුවය
නිමා නැත අපෙ ලොවට උදා වූ වසන්තය
-----------------------------------------------------------------------------------------
කියා ගන්නට නොහැකි දුකකින්
මගේ හදවත දැවෙනවා
දරාගන්නට නොහැකි තරමට
හැඟුම් මසිතට ගලනවා
පුරා සසරෙම එකට ඉන්නට
පැතූ හැටි හිත කියනවා
අපි ආපු ගියපු තැන් වල
තාම මං නුඹ සොයනවා

නුඹේ හිස උරහිසට ගෙන මගෙ
තුරුළු කරගෙන තියා
ආදරෙන් දෙලවන් සිඹපු හැටි
ඉද්දි නුඹ නෙත් පියා
ලොවට රහසින් නුඹෙන් ප්‍රේමය
වින්ද හැටි ගැන කියා
දුකට සතුටට මගේ ළඟ උන්
කවක තැබුවෙමි ලියා

අහස විශ්වය තරම් සුවිසල්
අපේ පෙම් ලෝකයේ
කෙලෙස කියමිද දැනුණු ප්‍රේමය
නුඹ නමින් ප්‍රේමියේ
වෙන්න බැරිවුව මගේ බිරිඳව
කුරිරු මේ ලෝකයේ
එන්න තව එක වරක් හමුවී
වෙන්වෙන්න සොඳුරියේ
-----------------------------------------------------------------------------------------
කාට අමතක උනත් නුඹ මා
අපව අමතක වේද නුඹට මට
අහඹු ලෙස මහ පොළොව මත හමුව
මහමෙරක් සේ පෙම් පිරූ හැටි
සසර වසනා තුරුම ඒ ලෙස
ළගින් ඉන්නට පැතුම් පැතු හැටි
අපට අමතක වේද කිසිදින
එකට ගත කළ සොඳුරු කාලය
හුස්ම නිමවී පස්ව යනතුරු
අප මුණගැසුණු මේ පොළොවටම.....
-----------------------------------------------------------------------------------------
නුඹ යළි නාවාට 
මං තවම බලන් ඉන්නවා 
එදා අපි ගියපු වේල්ස් උයනට යන මඟ 
ආයෙත් කෙදින හෝ නුඹ ඒවි කියා...... 
මොකද.... අහම්බෙන් හම්බෙලා ආදරේ කරාට අපි වෙන්වුණේ 
අපේ උවමනාවට නොවන නිසා.........

No comments:

Post a Comment